| Share |
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී මහ ඇමති අපේක්ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කරවීමට හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂයේ දේශපාලන ප්‍රධානීන් කිහිප දෙනෙකුගේ සහාය ඉල්ලා ඇති බව වාර්තා වේ.
අප වෙත වාර්තා වෙන පරිදි විපක්ෂයේ සන්ධානයක් යටතේ සිය බිරිඳ ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා බලා පොරොත්තු වේ. ෆොන්සේකා මහතා මේ සම්බන්ධයෙන් එජාප මන්ත්‍රී කරු ජයසූරිය සහ සජිත් කණ්ඩායමේ ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග වක්‍රාකාරයෙන් අදහස් හුවමාරු කරගෙන ඇතත් ඒ කිසිවෙකු ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නොමැත.
රජය විසින් පවරනු ලැබූ නඩු හා ඒ සම්බන්ධ තීන්දු මත මැතිවරණයකට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි වී ඇති ෆොන්සේකා මහතා අනෝමා පෙරට දමා තම දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. කෙසේ වුව ද එම දේශපාලන ව්‍යාපෘතියට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කර නොගැනීමට ෆොන්සේකා මහතා දැඩි තීරණයකට එළඹ සිටී.
ජෙනරාල් ෆොන්සේකා මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සමීප ගණුදෙනුවක් ඇති කිරීමට එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ. මේ අතර ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සම්බන්ධීකාරකයා මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ද වූ සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා සමග ඇතුල් කෝට්ටේ පිහිටි ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ ෆොන්සේකා මහතා සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සන්හිදියාවක් ඇති කිරීමයි. මේ සාකච්ඡා සඳහා අර්ජුන රණතුංග සහ ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගි වී තිබේ.
එමෙන් ම සේනක සිල්වා මහතා පසුගිය සතියේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපතිවරයා ද මුණ ගැසී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා සහ අගමැතිව සිටි සමයේ සිටම සේනක සිල්වා ඔහුගේ සමීපතම ආධාර කරුවෙකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ දිවංගත රෝහන විජේවීර මහතා අවසන් කාලයේ සැගවී සිටි උලපනේ සෙන්ට් මේරීස් බංගලාවේ සේනක සිල්වා මහතාගේ මවට අයත් වූවකි. එකල රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මහතාගේ පෞද්ගලික සහායකයෙකු ලෙස කටයුතු කළ සේනක සිල්වා විජේවීර මහතා අත්අඩංගුවට ගැනීමත් සමග ආරක්ෂාව පතා විදේශ ගත වූ අතර නැවත ලංකාවට පැමිණියේ රන්ජන් විජේරත්න මහතාගේ අභාවයෙන් පසුව ය. ජෙනරාල් ෆොන්සේකා මහතා විපක්ෂයේ පොදු ජන අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට නාම යෝජනා ලැබීමට සේනක සිල්වා මහතාගේ දේශපාලන සබඳතා විශාල පිටුවහලක් විය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











