Lanka News Web

පුදුකුඩිරිප්පු ; නැවත පදිංචි කිරීමේ මිත්‍යාව

Share

මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩිරිප්පු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ නැගෙනහිර ප්‍රදේශයේ නැවත පදිංචිවීමට අවසර ලබා දී ඇතත් ඔවුන්ට තම ජීවිත නැවත ගොඩගැනීමට විශාල අරගලයක් සිදුකිරීමට සිදුව තිබේ.

කුමක් කරන්නේද ?

තමන් සතු අඳුම් කීපයක් සහ   භාජන කීපයක් රැගෙන මැණික් ෆාම් කඳවුරේ සිට පුදුකුඩිඉරිප්පු නැගෙනහිර ප්‍රදේශයේ නැවත පදිංචිය වෙත පැමිණ ජනතාවට එක්සත් ජාතීන්ගේ සහන ව්‍යාපෘතියෙන් රුපියල් 20,000 ක්,කුඩාරම් තනාගැනීමට ටෙන්ට් රෙදි සහ කැලෑව සුද්ධ පවිත්‍රකරගැනීමට පිහි සහ මන්නා කීපයක් ලබා දී තිබේ. ඉන් දින දෙකකට පමණ පසුව පැමිණි එම ආධාර කණ්ඩායම් විසින්ම එක් පවුලකට 2x2 රීප්ප 5 බැගින් පුදුකුඩිඉරිප්පු පල්ලිය ආසන්නයේ දී බෙදා දී තිබේ.

මේ අතර එක මවක් ප්‍රශ්නකර සිටියේ මම මේ සල්ලිවලින් මොනවා කරන්න ද? මේ සල්ලි ටික ඉතිරි කරගෙන වතුර අදින්න බයිසිකලයක් ගන්න? නැතිනම් බුල්ඩෝසරයක් හයර් කරලා මේ කැලෑව සුද්ද කරගන්නද? ඓහෙමත් නැතිනම් බූස්සේ රඳවාගෙන සිටින පුතා බලන්න යන්න ද යනුවෙනි. ( ඇයට බුස්සට ගොස් පැමිණීමට 2150 එක් ගමනකට වියදම් වෙයි. පුතා බැලිය හැක්කේ විනාඩි 15 පමණි.)

ඔවුන්ගේ ගේ නිවාස පිහිටා තිබූ ස්ථාන දැන් වනාන්තර බවට පත් වී ඇත. පැමිණි දින දෙකට පමණක් එම මව නාගයින් තිදෙනෙකු මරා දමා තිබුණි. ඒ වගේම අලි ද එම ප්‍රදේශයේ සැරි සරන බවට සලකුණු තිබුණි.

ප්‍රධාන මාර්ගය දෙපස විශාල වශයෙන් කැලෑ එළිපෙහෙළිකර තිබුණත් ජනයා නැවත පදිංචි පැමිණි ප්‍රදේශය තවමත් වනගහනයේ පවතී.මෙසේ නැවත පදිංචියට පැමිණි පිරිසෙන් වැඩි පිරිසකගේ සැමියන් අහිමිව වැන්ඳඹුවන් වූවෝ වෙති.ඔවුන්ගේ සැමියන් බොහෝ දෙනෙකු යුද්ධය අවසාන කාලයේ මියගොස් ඇත. එම නිසාම එම වැන්දඹු බිරින්දෑවරු දරුවන් සමග තනිව තමන්ගේ කූඩාරම්වල රාත්‍රිය ගත කිරීමට මහත් බියක් දක්වති.

බිම් බොම්බ බිමක ජීවත්වීම

මෙසේ හදිසියේ නැවත පදිංචියට පුදුකුඩිඉරිප්පු නැගෙනහිර ප්‍රදේශයට ගෙන ආ ජනයාට ජීවත්වීමට සිදුව තිබෙන්නේ බිම්බෝම්බ තවමත් සැගවී ඇති බිමක ය. ඔවුන් පදිංචියට පැමිණි පසුව ද බිම් බෝම්බ කීපයක් ඔවුන්ගේ කූඩාරම් අසලම පුපුරා ගොස් ඇත. ඒ වගේම ජීව උණ්ඩ ද විශාල වශයෙන් එම ප්‍රදේශයේ තැනින් තැන විසිරී පවතී.

අනෙක් අතින් එම පිපිරුම් හඬවල් සහ ජීවඋණ්ඩ එම ජනතාව නැවත වතාවක් භීතියට පත්කර ඇත. එක් කාන්තාවක් පවසා සිටියේ ඒ ශබ්ද ඇහුණු ගමන් අපි භීතියට පත්වෙනවා. අපට මතක් වන්නේ යුද්ධය කාල සමයේ ෂෙල් ප්‍රහාර සහ ඒ ශබ්ධ.

මේ අතර සුවිස් බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය මෙම ප්‍රදේශයේ බිම් බෝම්බ ඉතා ඉක්මනින් ඉවත් කරදෙන බවට එම ජනතාවට පොරොන්දු වී ඇත.

සිය දිවි හානි කරගැනීම මෙයට වඩා හොඳය

නැවත පදිංචියට පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට ගෙන ආ ජනතාවට නැවත තම ජීවිත ආරම්භකිරීමට සිදුව ඇත්තේ දැඩි අපහසුවකිනි. විශේෂයෙන් ජලය,වැසිකිලි වැනි යටිතල පහසුකම් කිසිවක් නොමැත.දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් අඩාල වී තිබෙන අතර මේ දිනවල ඔවුන්ට සිදුවී ඇත්තේ කැලයෙන් ලීදඬු කපා ගෙපැලක් අටෝ ගැනීමට මව්වරුන්ට උදව් වීමට යි. කැලයට යාම යනු මරණය අත වැනීමකි. මන්ද බිම් බෝම්බ කොතනැද කිව නො හැකි නිසාවෙනි.

රාජපක්ෂ රජයට නැවත පදිංචිකිරීම් සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැති බවට මෙම ප්‍රදේශය සජීවී උදාහරණයකි.

කාන්තාවක් ප්‍රකාශ කර සිටියේ ඇත්තටම අප යුද්ධයෙන් මිය ගියා නම් හෝ සියදිවි හානිකරගත්තානම් මෙයිට වඩා පහසු යි. අපට බින්දුවේ සිට යළිත් ජීවිතය පටන්ගැනීමට සිදුවෙලා තිබෙනවා කිසිම සරණක් නොමැතිව.  

නැවතත් කඳවුරු ජීවිතයට

මේ අතර රාජපක්ෂ රජය විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් ජනතාවට මැණික් ෆාම් කඳවුරේ සිට පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට රැගෙනවිත් තිබුණේ ඔවුන්ට තමන්ගේ ඉඩකඩම්වල පදිංචිවීමට අවසර දෙන බව ප්‍රකාශ කරමිනි.

එසෙ පැමිණි ජනතාව තමන්ගේ ඉඩකඩම් නැවත සුද්ධ පවිත්‍රකරගැනීමෙන් පසු එහි  පැමිණි ශ්‍රී ලංකා හමුදාවේ බිම්බෝම්බ නිශ්කීයකිරීමේ අංශය පවසා ඇත්තේ මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන් පුපුරන දුව්‍යවලින් මුක්ත කලාපයක් නො වන බවයි ඉන්පසුව එම ජනතාව මේ වන විට පුදුකුඩඉරිප්පු, මානික්කායි තෛව් ගම්මානයේ පාසලේ රැඳී සිටී.  මෙලෙස සිදුකිරීමට ආසන්නතම හේතුව පුදුකුඩිඉරිප්පු නැගෙනහිර ප්‍රදේශය අධිආරක්ෂික කලාපයක් කිරීමේ සැලසුම් තිබෙන බව වාර්තා වෙයි.

-Yukthiya.com-

Share

AddThis Social Bookmark Button