| Share |
එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධීකරණයෙන් මරණ දඩුවම නියම වී ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති විත්තිකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාවක් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ඉල්ලා ඇති බව වාර්තා වේ.
වසර 2003 මැයි 07 වන දා හෝ ඊට ආසන්න දිනක දී දෙහිවල හාමර් පවුලේ පියා, පුතා සහ දුව ඝාතනය සම්බන්ධව වරද කරුවන් වී මරණ දඩුවම නියම වූ හැරිසන් ජයවීර හා කේ.ඩබ්.එෆ්. සුනිල් ශාන්ත යන විත්ති කරුවන්ට මෙසේ ජනාධිපති සමාව ලබා දීමට යයි.
ඒ අනුව මේ සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ සඳහා කොළඹ මහාධිකරණයේ ලේඛකාධිවරයාගෙන් එම නඩුවට අදාල ලිපි ගොනුව අධිකරණ අමාත්‍යංශය ඉල්ලා තිබේ. අධිකරණ අමාත්‍යංශයේ සහකාර ලේකම් (නීති) ශාමිණී විජේතුංග මහත්මිය කොළඹ මහාධිකරණයේ ලේඛකාධිකාරී වරයාගෙන් අදාල දඩුවම ලබා දුන් විනිසුරුවරයාගේ නඩු තීන්දුව ද ලිඛිතව ඉල්ලා ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ කටයුතු කිරීමට අවශ්‍ය අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය එම අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ පසුගිය මැයි මස 29 වන දාය. තව ද මෙම නඩුවට අදාල රහස්‍ය වාර්තාව නඩුව විභාග කළ හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්.එම්.පී.බී වරාවැව මහතා විසින් ම තීන්දුවෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බැවින් තමන්ට රහස්‍ය වාර්තාවේ පිටපතක් අධිකරණ අමාත්‍යංශයට ලබා දීමට නොහැකි බව මහාධිකරණ ලේඛකාධිකාරීවරයා අධිකරණ අමාත්‍යංශයට දන්වා තිබේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











